රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

චිත්තීකතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං

අනෝමසත්ත පරිභෝගං රතනං තේන වුච්චතී

මහත් ගරුත්වයට පත්වෙන, මහත් වටිනාකමක් ඇති, අසමාන, දුලභව දැකිය හැකි, උත්තම පුද්ගලයන් පරිභෝග කරන අර්ථයන් ගෙන් රතන නම් වේ. 

සුත්තනිපාතට්ඨ කතා, රතන සූත්‍ර  වර්ණනාව

1. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තලික්ඛේ

සබ්බේව භූතා සුමනා භවන්තු

අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

 

මෙහි පැමිණ, පොළොවෙහි හෝ අහසෙහි හෝ රැස්වූ යම්තාක් (දෙව්බඹුන් ඇතුළු) භූත පිරිසක් වේ ද, ඒ සියළුම භූතයෝ සතුටු සිතැත්තෝ වෙත්වා! තවද මගේ වචනය සකසා අසත්වා!

2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ

මෙත්තං කරෝථ මානුසියා පජාය

දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං

තස්මා හි නේ රක්ඛථ අප්-පමත්තා

 

තවද භූතයෙනි, ඔබ සියලුදෙනා මෙය අසව්! මනුෂ්‍ය ප්‍රජාවට මෙත් කරව්! ඒ අය ඔබට දිවාරෑ බලි පූජා කර කරති. එහෙයින්, නොපමාවම ඔවුන්ව රැකගනිව්!

3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා

සග්ගේසු වා යං රතනං පණීතං

න නෝ සමං අත්ථි තථාගතේන

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

මේ මිනිස් ලොව හෝ පරලෝකයක හෝ යම් ධනයක් වේ ද, දෙව් ලොව හෝ උතුම් රත්නයක් වේ ද, ඒ කිසිවක් තථාගතයන් හා සමාන කළ නොහැක! මෙය ද බුදුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

4. ඛයං විරාගං අමතං පණීතං

යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ

න තේන ධම්මේන සමත්ථි කිඤ්චි

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

(රාගක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛයට මග සළසන හෙයින්) ඛය නම් වූ, (රාග ප්‍රහාණයට මග සළසන හෙයින්) විරාග නම් වූ, (ජරා මරණ ආදී දුක් නිමාවට මග සළසන හෙයින්) අමත වූ, (මේ ආදී ගුණයන් ගෙන් අනූන සහ පානයට හිතැති හෙයින්) ප්‍රණීත වූ යම් අධිගමයකට සාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේ සමාහිත බවට (අන්තයන් ගෙන් මිදී, රාග, ද්වේශ, මෝහ යන හිතේ ඇති විසම ගති තුරන්ව, සම බවට ඇදුණු අරිහත්ඵල සමාධියට) පත් වූ යේ ද, ඒ හා සමාන වෙනත් දහමක් නොමැත. මෙය ද දහම පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

5. යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං

සමාධිමානන්තරිකඤ්ඤමාහු

සමාධිනා තේන සමෝ න විජ්ජති

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සුපිරිසිදු සේ විශේෂයෙන් වර්ණනා කළ සේක් ද, යම් ආනන්තරික සමාධියක්* දේශණා කළ සේක් ද, ඒ හා සමාන අන්‍ය වූ සමාධියක් නොමැත. මෙය ද දහම පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

*රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ලෝකයේ කිසිවක් අරමුණු නොකර, දුටු නිවනේ අත්හැරීමේ සුවයට/සමයට ඇදී සිටිමින් ලබන සමාධිය.

6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා

චත්තාරි ඒතානි යුගානි හොන්ති

තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා

එතේසු දින්නානි මහප්-ඵලානි

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

සත්පුරුෂයන් විසින් පසසන ලද යම් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, ඔවූහු යුගල හැටියට සතරක් වෙති. සුගතයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ඔවූහු (සිව්-අරිසස් දහම් න්‍යාය දැක ඇති නිසා) දන් දීමට සුදුස්සෝ වෙති ඒ ශ්‍රාවකයන්ට දෙන ලද දානයෝ මහත්ඵල ගෙන දේ. මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

7. යේ සුප්-පයුත්තා මනසා දළ්හේන

නික්කාමිනෝ ගෝතම සාසනම්හි

තේ පත්තිපත්තා අමතං විගය්හ

ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

දැඩි අදිටන් සිතින් (වීර්යෙන්) යුතුව අරිඅටැඟි (ආර්ය අෂ්ඨාංගික) මගෙහි මනාව යෙදෙමින් ගෝතම සසුන තුළ කාමයන් ගෙන් නික්ම, ඒ ශ්‍රාවකයෝ අනුපූර්ව ප්‍රතිපදාවෙන් නිවනට බැස (අරිහත්ව) තමන්ට ලැබෙන දානය අණනව (දායකයන්ට ණය නොවී) භුක්ති විදිති. මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

8. යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා

චතුබ්භි වාතේභි අසම්-පකම්පියො

තථූපමං සප්පුරිසං වදාමි

යෝ අරියසච්චානි අවෙච්ච පස්සති

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

මහපොළවෙහි කිඳා බස්සවා සිටුවා තිබෙන ඉන්ද්‍රඛීලය* සතර වටින්ම හමන වාත වේගයන් හමුවේ විශේෂයෙන් කම්පනයට පත් නොවන්නේ යම් සේ ද, යමෙක් සිව්-අරිසස් දහම් (චතුරාර්ය සත්‍ය ධර්මය) පිරිසිඳ දකීද, ඒ සත්පුරුෂයා ඒ උපමාව** පරිදිම වේ යැයි මම වදාරමි! මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

*පොළොවෙන් යටට පුරුෂයන් තුන් දෙනෙකු ගේ උසකට ද, පොළොවෙන් ඉහලට පුරුෂයන් දොළොස් දෙනෙකු ගේ උසකට ද,  තිබෙන පරිදි නගර දොරටු අසල සිටුවා පැවති ඉන්ද්‍රඛීල ගැන ධර්මයේ සඳහන් වේ. එය වනදුර්ග, ගිරිදුර්ග පසුකර රාජ්‍ය නගරය දෙසට එන පිරිස් හට ඈත තියාම නගරය කොයි බට ද යන්න දැනුම්දීමට ප්‍රධාන වශයෙන් බාවිතා කළ සඤ්ඥා ලකුණක් විය හැක. එයට අමතරව රජු ගේ සෘජු ප්‍රතිපත්ති, නොසැලෙන පුරුෂ ගති ස්වභාවයන් විදහා දැක්වීමේ සංකේත ලක්ෂණයක් සේ ද එය බාවිතා කර ඇති බවට අනුමාන කළ හැක.

 

**යලි යලිත් සසරේ ඉපදීම, ජරාව, මරණයට හේතුවෙන (වේදනා චෛතසිකයට දැනෙන) පංචකාම සුඛය කියන දෙය චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම තුළින් සත්‍ය වශයෙන්ම දුකක් සේ (ප්‍රඤ්ඥා චෛතසිකයෙන්) පිරිසිඳ දකින ඒ සත්පුරුෂ ශ්‍රාවකයා බුදුන්, දහම්, සඟුන් යන තුනුරුවන කෙරෙහි අවෙච්චපසාදයට පත් වේ. ඒ අනුව, එතැන් පටන් අචල ශ්‍රද්ධාවෙන් යුතු වන ඒ සත්පුරුෂයා ඉන්ද්‍රඛීල උපමාව පරිදි ම බාහිර ලෝකයෙන් එන තර්කවාද, කෙනෙහිලිකම් සහ බලපෑම් හමුවේ තමන් අවබෝධ කළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වැරදිය යන මානසිකත්වයට කිසිවිටත් පත් නොවේ. එසේ ම සුළිසුළං බඳුව එන අටලෝදම් කැළඹිලි හමුවේ   යථාභූත අවබෝධය ලද  සත්පුරුෂයා විශේෂයෙන් කම්පනය වීමක්  (ප්‍රකම්පනයක්) සිදු නොවේ.

 

9. යේ අරියසච්චානි විභාවයන්ති

ගම්භීරපඤ්ඤේන සුදේසිතානි

කිඤ්චාපි තේ හොන්ති භුසප්-පමත්තා

තේ භවං අට්ඨමං ආදියන්ති

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

ගැඹුරු නුවණින් තථාගතයන් වහන්සේ විසින් මනාව දෙසන ලද සිව්-අරිසස් දහම් අවබෝධ කළ ඒ ශ්‍රාවකයා (දෙව් මිනිස් අත්බැව් ලබමින් දුටු නිවන පූර්ණය කර ගැනීමට) බොහෝසෙයින් පමා වූවද, හෙතෙම අටවෙනි භවයක් කිසිසේත් නොගනිති. මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

10. සහාවස්ස දස්සනසම්පදාය

තයස්සු ධම්මා ජහිතා භවන්ති

සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච

සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි

චතූහපායේහි ච විප්-පමුත්තෝ

ඡ චාභිඨානානි අභබ්බෝ කාතුං

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

ඒ ශ්‍රාවකයා දහම දැකීමේ සම්පත්තිය ලැබීම (සෝතාපන්න ඵලලාභිත්වයත්) සමඟම, යම් සක්කාය දිට්ටිය, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන තුන් (සංයෝජන) දහම් ඇත්ද, ඒ තුන් (සංයෝජන) දහම් දුරකරන ලද්දේ වේ. ඒ කෙනා සතර අපායෙන් විශේෂයෙන් මිදුනේ වේ. (ඒ කෙනා විසින්) හයවැදෑරුම් මහා පව්  කිරීම (මව්-පිය-අරිහත් ඝාතනයන් කිරීම, පදුට්ට සිතින් බුදු සිරුරේ ලේ සෙලවීම, සංඝ බේදය කිරීම සහ මිසදිටු බවට පත්වීම*) කිසිවිටකත් සිදු නොවේ. මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

*බුදුන් වෙනුවට අන්‍ය ශාස්තෘ සරණ යාම

 

11. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං

කායේන වාචා උද චේතසා වා

අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය

අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

ඒ සෝවාන් වූ ශ්‍රාවකයා කයෙන්, වචනයෙන් හෝ සිතෙන් කිසියම් පාප කර්මයක් කරයි ද, ඒ කෙනා හට ඒ පාප කර්මය සැඟවීම (වැසීම) කියන දෙය කිසිවිටකින් සිදු නොවේ. ඒ පාපය (නිච්ච, සුඛ, අත්ථ, සුභ යන විපරීත සඤ්ඤා මත පිහිටා) වරදක් නොවේ යැයි ඒ ගැන වැරදි ලෙස දිට්ටි සහගත වීමක් කිසිවිටක දී සිදු නොවේ. මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

12. වනප්-පගුම්බේ යථාඵුස්සිතග්ගේ

ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ

තථූපමං ධම්මවරං අදේසයී

නිබ්බාණගාමිං පරමං හිතාය

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

ගිම්හාන කාලයේ පලමු මාසයේ (බක් මස) දී වනගොමුවක ඇති ගස්වැල් අග මනාව සුපිපි මල් වළින් හාත්පස යම් සේ පිරී ඇත්තේ ද (ඒවාට බඹර මීමැසි ආදී මල් පැණි පානයට හිතැති විවිධ සතුන් ඇදී ඇවිඳින් ඒවායේ පැණි මිහිර බුක්තිවිඳ, සිය මී වද ආදිය පුරවාලයි), උතුම් නිවනට පමුණුවන දහම් වරය ද ඒ උපමාව පරිදිම ලෝක සත්ත්වයා ගේ මහා හිතසුව පිණිස (තථාගතයන් වහන්සේ) දේශණා කළේය. (දෙවි මිනිසුන් ද පැණි පිපාසිත බිඟුන් සේ පානයට හිතැති නිසා ප්‍රණීත වන දහම් වෙත ඇදී හද ගැබ් තුළ මියුරු දහම් වද බැඳ නිවන නැමැති මහා මිහිරියාවට පත් වේ.) මෙය ද බුදුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

13. වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ

අනුත්තරෝ ධම්මවරං අදේසයී

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

(සසර දුක් සදහටම වරන/කෙලවර කරන හෙයින්) වරෝ නම් වූ, (ඒ වර දහම ලබාදෙන හෙයින්) වරදෝ නම් වූ, (ස්වයංභූ ඤාණයෙන්ම ඒ දහම අවබෝධ කළ හෙයින්) වරඤ්ඥූ නම් වූ, (ඒ දුක් සදහටම කෙලවර කරන මගෙහි තමනුත් ගමන් කර අනාථ ලෝක සත්ත්වයා හට ද ඒ නිවන් මග පෙන්වන හෙයින්) වරාහරෝ නම් වූ, (සසර දුක් සදහටම අවසන් කරන පරම සැපත වන නිවන් සම්පත ලැබ දෙන හෙයින්) අනුත්තර* වූ දහම බුදුන් දේශණා කළ සේක. මෙය ද බුදුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

*මක්කලී ගෝසාල ආදී ශඩ් ශාස්තෘන් සහ අන්‍ය ශාස්තෘන් ගේ දහම් තිස්-එක් ලෝ තලයේ කොහේ හෝ යළි උපතකටම මග පාදන බැවින් ද, ඒ නිසා සසර දුක සදහටම නිමාකරලීමක් ලැබ නොදෙන නිසා ද කිසි කලෙකත් අනුත්තර නොවේ.

14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං

විරත්තචිත්තා ආයතිකේ භවස්මිං

තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථායම්-පදීපෝ

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

 

කෙලෙස් සංකාර (රාග, ද්වේශ, මෝහ හේතු) ක්ෂය වුනේ ද, (මතු උපතකට හේතුවන) නව සංකාර හේතු හට නොගන්වන්නේ ද, නව කෙලෙස් සංකාර (අභිසංඛාර බීජ) යළි හටගැන්වීමෙහි නොඇලුණු සිත් ඇති, පුහු වුනු අභිසංඛාර බීජ ඇති, භවගාමී තණ්හා මූල (පුනර්භවයට හේතු) උපුටා දැමූ (සමුච්ඡේද ප්‍රහාණය කළ), ඒ රහතන් වහන්සේ* හරියට මේ පහන නිවී ගියා සේ පිරිනිවනට පත්වන්නේය (අනුපාදිසේස නිවනට පත්ව සසර ගමන කෙලවර කරන්නේය). මෙය ද සඟුන් පිළිබඳ උතුම් රත්නභාවයකි! ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා!

 

*කෙලෙස් තැවීමේ වීර්යෙන් යුතුව මාර්ගඵල අවබෝධයේ කෙලවරට පත් හෙයින් ධීරවන.

 

15. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තලික්ඛේ

තථාගතං දේවමනුස්සපූජිතං

බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

 

මෙහි පැමිණ, පොළොවෙහි හෝ අහසෙහි හෝ රැස්වූ යම්තාක් (දෙව්බඹුන්) ඇතුළු භූත පිරිසක් වේ ද, දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ බුදුන් නමදිමු. ඒ හේතුවෙන් සුවපත් වෙත්වා!

මහාවීර වූ තථාගතයන් වහන්සේ එදා විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ දී කෝටි ලක්ෂයක් ආඤ්ඥා බල පිහිටුවමින් තුනුරුවනේ අසමසම ගාම්භීර සත්‍යයන් උද්දීපනය කරමින් දේශණා කරන්නට යෙදුණ රතන සූත්‍රය අසා, නිරාමිස ප්‍රීතියට පත් දෙව්බඹුන් ඇතුළු රැස්ව සිටි සියළු සත්ත්වයන් නියෝජනය කරමින් සක්දෙව් රජු විසින් බුදුරඳුන් අභියසට පැමිණ කළ පළමු, දෙවෙනි සහ තෙවෙනි වැඳුම් සඳහා ගායනා කළ ගාථා තුන පිළිවෙළින් 15, 16 සහ 17 යන ගාථා වේ.

16. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තලික්ඛේ

තථාගතං දේවමනුස්සපූජිතං

ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

 

මෙහි පැමිණ, පොළොවෙහි හෝ අහසෙහි හෝ රැස්වූ යම්තාක් (දෙව්බඹුන් ඇතුළු) භූත පිරිසක් වේ ද, දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ දහම නමදිමු. ඒ හේතුවෙන් සුවපත් වෙත්වා!

17. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛේ

තථාගතං දේවමනුස්සපූජිතං

සංඝං නමස්සාම සුවත්ථි හෝතු

 

මෙහි පැමිණ, පොළොවෙහි හෝ අහසෙහි හෝ රැස්වූ යම්තාක් (දෙව්බඹුන් ඇතුළු) භූත පිරිසක් වේ ද, දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සඟුන් නමදිමු. ඒ හේතුවෙන් සුවපත් වෙත්වා!

සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේන, සබ්බ සංඝානුභාවේන

සබ්බ රෝග විනස්සතූ! සබ්බ භය විනස්සතූ! සබ්බ වින විනස්සතූ! සබ්බන්තරාය විනස්සතූ! වින බන්දන විනස්සතූ!

සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේන, සබ්බ සංඝානුභාවේන,

සෝත්ථි මේ හෝතු සබ්බදා! සෝත්ථි තේ හෝතු සබ්බදා!

සාදු! සාදු!! සාදු!!!

 

පසුවදන: උච්චාරණ පහසුව පිණිස ඉහත සූත්‍රයේ ඇතැම් පාලි පෙල දහම් පද අතරට යාඉර විරාම ලකුණ බාවිතා කර ඇති බව සළකන්න.

පුණ්‍යානුමෝදනාපූර්වක ස්තූතිය: මේ වටිනා සූත්‍රය පිළිබඳව අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කළ ආර්ය මහා සංඝරත්නය, සරල සිංහලට නඟන මෙන් පුණ පුණා දිරිමත් කළ ගොඩගම මාමා සහ ධර්ම සාකච්ඡා කරමින් ඒ පිළිබඳව සිය දැනුම සහ අවබෝධ බෙදාහදාගත් ගයාන් දසනායක මහතා, අසංක හෙට්ටිආරච්චි මහතා, රොෂාන් හෙන්දහේවා මහතා, ගයාන් ජයසිංහ මහතා, සම්පත් විජේකෝන් මහතා, චාමර ඉරේෂ් මහතා, චින්තා හඳපාන්ගොඩ මහත්මිය, විරංග්‍යා සෙනෙවිරත්න මෙනෙවිය සහ සන්ද්‍යා දුලානි මෙනෙවිය ඇතුළු කළණ මිතුරන් හට උතුම් අරිහත්ව පිණිසම මේ පින හේතු වාසනා වේවා! 

සම්පාදක: අමිල සල්ගාදු, 2020 නොවැම්බර්. (සංස්කරණය: 23.06.2021)

බ්ලොග් සටහන්: http://amilasuwa.blogspot.com/

විද්‍යුත් ලිපිනය: amilasuwa@gmail.com

යොමුව:

සූත්‍රනිපාතය (ඛුද්දක නිකාය 2), පූජ්‍ය. පරවාහැර සිරි ප්‍රඤ්ඤානන්ද හිමි. රතන සූත්‍රය, 68-73 පිටු, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය, සංස්. ලබුගම ලංකානන්ද හිමි ආදීහු, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්තමාලා: 25, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල-දෙහිවල, (2006).

ඛුද්දකපාටට්ඨකථා (පරමත්ථ ජෝතිකා) පූජ්‍ය. මැදඋයන්ගොඩ විජයකිත්ති හිමි, පාලි අට්ඨකථා සිංහල පරිවර්ථනය-41, රතන සූත්‍ර වර්ණනාව 136-173 පිටු, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල-දෙහිවල, අජිත් ප්‍රින්ටර්ස් (ප්‍රියි.) ලිමිටඩ්, බොරලැස්ගමුව, ප්‍රථම මුද්‍රණය, (2009).

සුත්තනිපාතට්ඨ කතා (පරමත්ථ ජෝතිකා) ජේ.පී. නිමල් ලාල් රංජිත්, පාලි අට්ඨකථා සිංහල පරිවර්ථනය-28, රතන සූත්‍ර වර්ණනාව: 282-318 පිටු, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල-දෙහිවල, අජිත් ප්‍රින්ටර්ස් (ප්‍රියි.) ලිමිටඩ්, බොරලැස්ගමුව, ප්‍රථම මුද්‍රණය, (2008).

පිරුවානා පොත් වහන්සේ පූජ්‍ය. ඇත්තුඩාවේ සිරි රාහුල හිමි, 43-46; 163-165 පිටු, සමයවර්ධන පොත්හල (පෞද්.) සමාගම, කොළඹ 10, අටවෙනි මුද්‍රණය, (2009).

ගිම්හානයේ වසන්තය නම් වූ රතන සූත්‍රය පූජ්‍ය. ඇස්වත්තේ රේවත හිමි, පිටු 137, සෙනරත් ප්‍රකාශන, ඉඹුල්ගොඩ, මධු ප්‍රින්ටින් වර්ක්ස්, දෙල්ගොඩ, දෙවන මුද්‍රණය, (2006).

පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන කියන සිව්පිළිසිඹියා ඤාණයන් ගෙන් රතන සූත්‍රය සම්බන්ධව සිදු කරන ලද ධර්ම දේශණා, ධර්ම සාකච්ඡා, පටිභාන කාව්‍යමය පූජා සහ පිරිත් සජ්ඣායනා (1995-2017) :

පූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමි: රතන සූත්‍ර පිරිත් සජ්ඣායනාව: Sadaham Arana චැනලය https://www.youtube.com/watch?v=MfZ1r4F1htQ&t=105s

PDF බාගත කරන්න

Comments

Amila Salgado said…
රොමේෂ් මහතා, තෙරුවන් සරණයි!
බොහොම පින්!
සාදු! සාදූ! සාදූ!, බොහෝ පින්
Chamara Iresh said…
ඉතාම අගනා ලිපියක්... වටිනවා ගොඩක්...පොහොම පින්
ඉතා වටිනවා! අප්‍රමාණ පින් මේ කරුණු ගෙනහැර දක්වුවාට. තෙරුවන් සරණයි!!!
Amila Salgado said…
සම්පත්, චාමර සහ ගයාන් මහත්වරුනි,
ඔබ සැමගේ පුණ්‍ය ප්‍රසාද සිත් මට ද හැමට ද නිවන් ජය උදෙසාම වේවා!

Popular posts from this blog

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!