ත්‍රිපිටකයට ඉබි යතුරු දාන පනත් කෙටුම්පත පරදවමු.

 

‘‘සියා ඛො පනානන්‌ද, තුම්‌හාකං එවමස්‌ස – ‘අතීතසත්‌ථුකං පාවචනං, නත්‌ථි නෝ සත්‌ථා’ති. න ඛෝ පනේතං, ආනන්‌ද, ඒවං දට්‌ඨබ්‌බං. යෝ වෝ, ආනන්‌ද, මයා ධම්‌මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්‌ඤත්‌තෝ, සෝ වෝ මමච්‌චයේන සත්‌ථා...” -

“ආනන්දය, නුඹ වහන්සේලාට ‘මේ බුද්ධදේශනාව පිරිනිවුණු ශාස්තෘවරයෙකු ගේ දේශනාවකි, අපගේ ශාස්තෘන් වහන්සේ දැන් නැත’යි මෙසේ අදහසක් ඇති වන්නේ නම්, ආනන්දය එය එසේ නොදත යුතුය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරනා ලද්දේ ද පනවන ලද්දේ ද, ඒ ධර්මවිනය මගේ ඇවෑමෙන් නුඹ වහන්සේලාට ශාස්තෘන් වහන්සේ වන්නේය”

තමන් ගේ ඈවෑමෙන් පසුව පහලොස් දෙනෙකු ගෙන් සමන්විත ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයකට ශාස්තෘ කත්‍ය කරන්න ඉහත සඳහන් මහාපරිනිබ්බාන සූත්‍ර පාඨය අනුව තථාගතයන් වහන්සේ විසින් අවසර දී නැහැ. 

තථාගතයන් වහන්සේ ගේ සුගත සිවුර දරන්නට සමත් වූ මහා කාෂ්‍යප මහා රහතන් වහන්සේට වත් බාර නොදුන්න ඒ වැඩේ, අපි තවම පෘතගජන යැයි කියා ගන්නා ගිහි පැවිදි කිහිපදෙනෙකුට දෙයි ද? ඒ නිසා මේ පනත ධර්මය විනය යටපත් කරවන්න ආ මර උගුලක්.

අප බුදුපියාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මහනෙල් මල් සුවඳ විහිදෙන ඒ ශ්‍රී මුඛයෙන් දේශණා කරන්නට යෙදුන උතුම් දේශණා මූලිකව අඩංගුව ඇති ත්‍රිපිටකය බෞද්ධ අපි රැකගත යුතුයි. හැබැයි, ත්‍රිපිටකය රැකගන්නා බවට සුදු පිරුවටයක දවටා ලහිලහියේ ගෙන එන්න සැරසෙන ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනත කීතු කීතු වලට ඉරා කුණු කූඩයට දැමිය යුතුයි.

මේ තියෙන ලොකුකම්, තනතුරු, තාන්නමාන්න, මිලමුදල්, ආවාස-මන්දිර,  යානවාහන, නෑ හිතමිතුරන් අතහැරයන දිනයක් එනවා. ඒ අපි කව්රුත් මුහුණදෙන මරණය කියන ලෝක ධර්මතාවය හමුවේ.

මෙවන් අසාසනික නීති කෙටුම්පත් කරන්න, අනුමත කරන්න, සම්මත කරන්න කටයුතු කරන සහ කරන්න නියමිත අය සමහරක් ජීවිතයේ සැදෑසමයට පැමිණි අය නෙ.  ඒ නිසා, පණ යන මොහොත ලංවෙනකොට, පනත ගැන ධර්මාධිකරණයේ අවසන් තීන්දුව දැනගන්නට අවස්ථාවක් ඔය කාට කාටත් උදාපත් වෙනවා.

මරණයට ආසන්න කෙනෙක්ට කර්ම, කර්මනිමිති, ගතිනිමිති කියන තුන් ආකාරයකින් හිතට එන  බව ධර්මයේ සඳහන්. කළ කී දෙයක් ඒ මොහොතේ දී ම සිදු කරන දෙයක වගේ මරණාසන්න කාලයේ දී පෙනීම කර්ම යන්නෙන් අදහස් කෙරෙනවා. එම කර්මය කරන්නට උපකාර වූ දෙය/පුද්ගලයා/පුද්ගලයන්/ ආදිය පෙනීම කර්ම නිමිත්ත යි. මරණාසන්න කෙනා ගේ ඊලඟ අත්බැවේ ගතියට අදාලව මනසට දර්ශණය වන නිමිති ගති නිමිති යි.

නිරයං අග්ගිකඛන්ධං ච - පෙතලොකං ච අන්ධිකං

තිරච්ඡාන වන සංඛණ්ඩං - මංසඛණ්ඩං ච මානුසිං

විමානං දිබ්බලොකම්හි -  නිමිත්තා පංච දිස්සරෙ

ඒ අනුව කෙනෙක්, අපායකට යන්න නම් ගිනි කඳක් ද, ප්‍රේත ලෝකයට නම් අඳුරක් ද, තිරිසන් ලෝකයට නම් වන වදුල් ද, මිනිස් ලෝකයට නම් රතු මස් කඩක් ද, දෙව් ලොව නම් (දීප්තිමත්) දෙව් විමන් ද හැටියට පස් ආකාරයක ගති නිමිති දැකීම සිදුවන බවට ඉහත ගාථා රත්නයේ සඳහන්.

මේ පනතට දොහොත් මුදුන් දී අතගහන අයගෙ මතු අත්බැවට අදාල ලිට්මස් පරීක්ෂණය කරගන්න ඕං මම ලෙහෙසි කළා. Frequent flyer miles සළකා first class upgrade එකක් නම් guaranteed! 

මේක රට තුළ අන්තවාදයේ අඳුරු සෙවනැලි පතුරුවන පනතක්. මේක රටේ බොදුනුවෝ බේදකරන පනතක්. මේක වැරදි ලෙස අල්ලාගත් සර්පයෙක් බඳු පනතක්. මේක නිවන් දකින්න අවශ්‍ය විවේකය කෙසේ වෙතත් ස්වාමින් වහන්සේලාට පොලිසි ගානෙ, උසාවි ගානෙ රස්තියාදු කරවන පනතක්. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත නමුත් සිංහල පරිවර්ථනයේ ඇති එකම න්‍යායට හුරු විය යුතු පනතක්. සෝවාන් පලය ලැබී හතර අපායෙන් නිදහස් වූ නමුත් හිරගත වීමෙන් නිදහස් නොවන ආකාරයේ පනතක්. ප්‍රඥාවට වැටහෙන දහසක් න්‍යායන් ගෙන් විද්‍යුත් මාධ්‍ය යොදා බණ කියා රාජ්‍යානුග්‍රහයෙන් වැලිකඩ පවිවේකී අරණට වඩම්මවන ආකාරයේ පනතක්.

ඒකයි මම මේ ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ. 

හිරබත් කෑම කෙලවර කර ඇති දහමක් ද බුදු හිමි දෙසුවේ?

ඔබ ඔබෙන්ම අසා සුදුසු දෙය කරන්න.

Comments

අමිල ඔබගේ මේ ලිපිය අති විශිෂ්ඨයි.
මේ මෝඩ පනත ගැන හරි අදහසක් නොතිබෙන අයට මේ ලිපියෙන්
ඒ පනතේ තිබෙන බැරෑරැම් කම අවබෝධ කර ගත හැකියි.ඒත්
අපිට අමතක කල නොහැකියි මේ පැරණි ඉංග්‍රිසි කියමන.
Fools are rush in where Angels fear to tred.
බුද්ධ සාසනයේ තිබෙන බරපතල කම ගාම්භීරත්වය පෘතග්ජනයෙක් කෙසේ නම්
අවබෝධ කරන්නද.කෙසේ වෙතත් මේ පනත ක්‍රියාත්මක නොවන තැනට වැඩ සිදුවී
මේ අන්ධ බාල පෘතග්ජනයිනුත් භයන්කාර ඉරනම් අත්කර ගැනීමෙන් ගැලවේවා කියා
මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
Chamara Iresh said…
ප්‍රථම ධර්ම සංගායනාවට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන්වහන්සේව අරිහත් වූවොත් මිස සම්බන්ධ කර නොගැනීමට බුද්ධ කාලීන සිව්පිළිසිඹියාපත් මහරහතුන් වහන්සේලා තීරණය කළ සේක. පෘතක්ජන කමිටුවක මතයට යටත්ව නිර්මල ප්‍රඥාගෝචර බුදුදහම යටපත් කරදැමීමට දරනා උත්සාහයට එරෙහි වෙමු!

දහම විග්‍රහ කිරීමට පද, ව්‍යංජන, අක්ෂර, නිරුක්ති අප්‍රමාණ බව ත්‍රිපිටකයේම විග්‍රහ කර තිබියදී තම මතයට වඩා විරුද්ධ අදහසක් දැරීම වරදක් බව මේ පනතේ දක්වා තිබේ.


මානව හිමිකම් උල්ලංඝනයක් ද වන මෙය ප්‍රඥාගෝචරව විමර්ශනයෙන් තෝරාගෙන අවබෝධ කරගත යුතු බුද්ධ දර්ශනය "අපි කියන විදිහට අදහපල්ලා" කියා කියන බුදුදහමටද කරන නිගරුවකි. මීට එරෙහි වෙමු! පාළි ත්‍රිපිටක පෙළදහමේ තවමත් නිරුපද්‍රිතව පවතින බුද්ධ දර්ශනය රැක ගනිමු.
අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස රැක ගනිමු.

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

Guest Article: An Open Letter